Friday, March 30, 2012

වනජීවී ඡායාරූපකරණය

වන ජීවී  ඡායාරූපකරණය හුදෙක් සල්ලිකාරයන්ගේ විනෝදාංශයක්ව පැවති වකවානුවක් තිබුනි. ඩිජිටල් තාක්ෂනය බිහිවීමට කලින් ස්ලයිඩ් හෝ ෆිල්ම් භාවිතයෙන් කරනු ලැබූ ඡායාරූපකරණය අතිශය මිල වැය වන විනෝදාංශයක් විය. කාලයත් සමඟ ඩිජිටල් තාක්ෂනය මෙලොවට බිහිවීමත් සමගමේ තත්වය කෙමෙන් වෙනස් වී බොහෝ දෙනා ඡායාරූපකරණයට අවතීර්න වීමට පටන් ගෙන ඇත්තේ එදා තරම් මුදලක් අද වැය කල යුතු නැති නිසාමය.  එහෙත් කනගාටුවට කාරණය නම් දැන් හතු පිපෙන්නාක් මෙන් ඡායාරූපශිල්පීන් යැයි කියන කැමරා කාරයින් බිහිවීමයි.  දන්න ඉලවුවක් නැති වුනත් ෆොටෝ ගැසිය හැකි නිසා ඔවුන් පොරවල් යයි සිතාගෙන සිටී.  එහෙත් ඒ සියල්ලම කරන්නේ කැමරාවය. බොත්තම ඔබනවාට වඩා යමක් බොහෝ දෙනා දන්නේ නැත.  මාසයක් දෙකක් ෆොටෝ ගැසුවාට පසු ඔවුන් මහා ආචාර්යවරුන් සේය.  ඡායාරූප ශිල්පියේ හිනි පෙත්තටම ආ සහ, ඡායාරූපකරණය නගා සිටුවීමට දර දිය ඇදපු අයට වඩා දෙයක් කල සේ කතාවය.  මේ සියල්ල අතර අවංකවම ඡායාරූපශිල්පය හැදෑරීමේ ආසාවෙන් පෙලෙන පිරිසක්ද වේ.  මේ භූමිකාව ඒ අවංක උන් උදෙසාය.






වන ජීවී ඡායාරූපකරණයට පෙර සූදානම් වන්නේ කෙසේද....

වනජීවී ඡායාරූපකරණය අන් ඡායාරූපකරනයන්ට වඩා වෙහෙස මහන්සි වී කල යුතු වූවකි.  එයට පෙර සූදානමක් සහ මනා හික්මීමක් තිබිය යුතුය.  පරිසරය හා පාරිසරික වෙනස්කම් ගැන මනා වැටහීමක් ලබා ගත යුතුය.  වන ජීවීන් හා උන්ගේ හැසිරීම් රටා අධ්‍යනය කල යුතුය.  විවිද පාරිසරික තත්ව යටතේ ඊට ආවේනික ලෙස වන ජීවීන් හැසිරෙති. උන්ගේ වාස භූමි ඒ අනුව තෝරා ගනිති.  යාල වනෝද්‍යානයේ  සිටින තරමක් දිවියන් අපිට සිංහරාජයෙන් වාර්තා නොවේ.  දිවියන් ඡායාරූපයට නැගීමට නම් යා යුතු වඩාත්ම සුදුසු තැන වන්නේ යාලය.  ලංකාවේ විශාලම වනෝද්‍යානය විල්පත්තුය. එහෙත් පසුගිය කාලයේ පැවති දරුණු යුද්ධයත් සමග මෙහි සිටි බොහෝ වන ජීවීන් විල්පත්තුව මගහැර සිටියේය. මේ හේතුව නිසා විල්පත්තුවට වඩා යාල දිවි ගහනය වැඩිය.  සංඛ්‍යා ලේඛන අනුව යාල එක් වර්ග කිලෝමීටරයකට එක දිවියෙක් දැක ගත හැකිය.  මේ ආකාරයට විවධ වන සතුන්ට විශේෂ වූ වාස භූමි උන් තමන්ගේ නිජබිම් කරගෙන වාසය කරයි.  අලින්ගේ ඡායාරූප ගැනීමට යාල යාමට වඩා උඩවලවට යාම වටී. ඊට හේතුව යාලට වඩා අලි ගහනය උඩවලව වනෝද්‍යානයේ වැඩිවීමයි.  මින්නේරියද අලින්ගේ එකතු වීම් වලට ප්‍රසිද්ධය.  මීට පාරිසරික හේතු බලපායි.  අගෝස්තු හා සැප්තැම්බර් යන මාස වල කුඩා වැවු වල ජලය හිඳී යන අතර බොහෝවිට වතුර ඉතුරු වන්නේ මින්නේරිය ජලාශය පමනි. මේ හේතුවෙන් අනෙක් වනෝද්‍යාන වල වාසය කරන අලින් මින්නේරිය ජලාශ වටා එකතුවේ. මෙකී පාරිසරික තත්ව ගැන අවබෝධයෙන් සිටීම වනජීවී ඡායාරූප ශිල්පියෙකුට ඉතා වැදගත් වේ.  



Wednesday, March 28, 2012

මා ඡායාරූපකරණයට අත ගැසූ සැටි....

1995 රිකෝ II ෆිල්ම් කැමරාවකින් මම මගේ ඡායරූපකරණයට  අත ගැසූයේ අවුරුදු කීපයක් තිස්සේ එකතු කරගත් සියළුම ධනය එක මොහොතකින් වියදම් කරමිනි. රුපියල් 22,000 කට ලබා ගත් කැමරාවට පසුව තව තව උපාංග ටිකක් එකතු කර ගනිමින් මම ඡයාරූපකරණයේ නව මං පෙත් එලි පෙහෙළි  කර ගැනීමට උත්සුක වූයෙමි.  දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප තුලින් කමටහන් ලබා ගනිමින් හා ලැබෙන සෑම පත පොතක්ම කියවමින් මම මේ දුර ගෙවන්නට යත්න දැරූවෙමි.  ඡායරූපකරණය හුදෙක් මාගේ විනෝදාංශය හා වියවුල් මා මනසට මෙය තවත් එක් භාවනාවකි.  කාලය ලැබෙන සෑම  අවස්ථාවකම  මම මේ භාවනාවට සම වදිමි.


වර්ෂ 2000 දී ෆිල්ම් කැමරාවට සමු දී මම ඩිජිටල් Point and Shoot කැමරාවකට අත ගැසූවෙමි. එහෙත් ගුනාත්මක ඡයාරූප ගැනීමට හා මාගේ පරාසයන් පුළුල් කර ගැනීමට එයින් එතරම් දායකත්වයක් නොලබූයෙන් මට DSLR කැමරාවක අවෂ්‍යතාවය තදින්ම දැනෙන්නට විය. 2004 දෙසැම්බරයේදී කාර්යාලීය අවශ්‍යතාවයක් උදෙසා රාජකාරී මට්ටමින් සිංගප්පූරුවට යාමට ලැබුනු අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් හා එම සංචාරයට කාර්යාලයෙන් ලැබුනු අරමුදල් බොහෝම දුකසේ ඉතුරු කරගනිමින් තිබුන එකම ක්‍රෙඩිට් කාඩ් පතේ සියළුම පහසුකම් භාවිතා කරමින් Nikon D70s කැමරාවක් මා මගේම කර ගත්තෙමි.

මාස්පතා ලැබුනු පඩිය මෙම විනෝදාංශයට කිසිම දායකත්වයක් දුන්නේ නැත. පංති කර ලැබෙන මුදලින් කොටසක් මම දැඩි ලෙස පීඩා විඳිමින් හා මිරිකෙමින් ඉතුරු කරන්නට පෙරුම් පිරූයෙමි.  නිතර දෙවේලේ අන්තර්ජාලය හරහා උපාංග හා මෙවලම් බලමින් ඒවා ලබා ගන්නට සිහින දකිමින් මම කාලය ගත කලෙමි. ඒ වගේම ඒ සිහින සැබෑ කරගන්න මම නිරතුරුව උත්සාහ කලෙමි.  ටිකින් ටික, එකින් එක, මා මගේ මෙවලම් එකතු කලෙමි. කැමරා, ලෙන්සස්, ෆ්ලෑශර්ස්, ට්‍රයි  ෆොඩ්ස්, මෙකී නොකී හැම දේම නිතර දෙවේලේ මගේ මනස තුල භ්‍රමනය වන්නට විය. උන සන්නියකට හැරී අතිශය උත්සන්න වූ තත්වයක් තුල මට මේ හැම දේම අත පත ගා බැලීමේ  අවශ්‍යතාවය  තදින්ම දැනෙනට විය. ඇති උන්ගෙන් ඉල්ලූ කල අතිජාත මිත්‍රයන් වුවද විවිධ හේතු කියා මග හරින අවස්ථා අනන්තය අප්‍රමාණය.  දුක හිතේ පුරෝගෙන මම මේ හැම  අවස්ථාවකම දහිරිය උපදවා ගත්තෙමි.  යම් දවසක කෙසේ හෝ මේ සියළුම දේ මම ගන්නෙමියි යන ඒකායන ප්‍රාර්ථනයේ ඇනය මම මගේ හිස තුලටම ගසා ගත්තෙමි. ඒ ඇනයේ ආනුභාවයෙන් අද මම ඡායාරූපකරනයට අවශ්‍යව ඇති නවීණතම  උපාංග  වලට හිමිකම් කියන වාසනාවන්තයෙක්මි.

කැමරාවන් ලෙස Nikon D200, D7000 කැමරා දෙකද, Nikon 105mm f2.8 Macro, 85mm f1.8D, 50mm f1.4G, 18-105 Zoom, Sigma 300-800mm f5.6 යන ලෙන්ස් වර්ගද, ෆ්ලෑශ්‍ර්ස් ලෙස මැක්‍රෝ සඳහා Nikon R1C1 Close Up Lightning Kit එකද, SB800 ෆ්ලෑෂරයද,  ට්‍රයි  ෆෝඩ්  එක ලෙස Gitzo 5 series කාර්බන් ෆයිබර් ට්‍රයි ෆෝඩයද Whemberly II හෙඩ් එකද, LowPro Pro Tracker AV II කැමරා බෑගයද අද මා සතුව ඇත.

මේ සියළු  කරුණු කාරණා මෙසේ සඳහන් කලේ උජාරුව කියා පෑමටවත්, පුරාජේරුවටත් නොවන බව මා අවංකවම සඳහන් කරමි.  මා මෙන්ම උපාංග ලබා ගැනීමට අනේක දුක්ඛ දෝමනස්සයන්ට මුහුන දෙන තවත් පරම්පරාවක් මා පිටුපස සිටින බව මා දනිමි.  මා සතු උපාංග දකින අළුතින් ඡායරූපකරණයට නැඹුරු වූ බොහෝ දෙනා මා හා පැවසූයේ මේවා හීන වගේය යන්නය.

නිබඳවම මා ඒ හැම කෙනෙකුටම පවසන්නේ ඒ හීන වලට සීමා නොවී උත්සහයෙන් යුතුව ඉදිරියටම යන ලෙසය. මට වඩා දුර ගමනක් ඔවුනට යා හැකි බව මගේ විශ්වාසයයි.

" උත්සාහය උක් දන්ඩක් වැන්නේ
  වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ....."

ඡායාරූපද සමගින් මෙම  මෙවලම්  ඔබට මෙතනින් බලා ගත හැක.  

මෙම ලින්ක් එක කොපි කර ඔබගේ  බ්‍රවුසරයේ ලින්ක් සඳහන් කරන බාර් එකේ පේස්ට් කිරීම මගින් බලා ගත හැක.


http://www.facebook.com/media/set/?set=a.10150626540097947.390470.664642946&type=3

ඡායාරූප ශිල්පියා යනු....


කැමරාවක් අතේ තිබුනු පලියට කෙනෙකු ඡායාරූප ශිල්පියෙකු වන්නේ නැත.  ඡායාරූප ශිල්පය හදෑරූ පමනින්ද කෙනෙකු ඡායාරූප ශිල්පියෙකු වනෙනේ නැත.  කැමරාවක් ගෙන හිතුන හිතුන දෑ ෆොටෝ ගැනීමෙන්ද ඡායාරූප ශිල්පියෙකු විය නොහැක.  ඡායාරූප ශිල්පියාට මනා හික්මීමක් තිබිය යුතුය.  ඉතා හොඳ ඉවසීමක් තිබිය යුතුය.  සාමාන්‍ය කෙනෙකු බලන කෝනයට වඩා පුළුල් හා වෙනස්  කෝණයකින් බලන කෙනෙකු විය යුතුය.  මේ කෝණය ඡායාරූප ශිල්පියාගේ අනන්‍යතාවයය.  එම කෝණයේ දැක්ම ඡායාරූපයේ වස්තු බීජයට සියලු අර්ථ කථන සැපයිය යුතුය. සාර්ථක ඡායාරූපයකින් සම්පූර්ණ කථාවක් දැනිය යුතු වන්නේය.    එය චිත්‍රපටියක් බැලුවට වඩා හිතට කා වැදිය යුතුයි.  ඡායාරූප ශිල්පියා අනිවාර්යයෙන්ම ඉවසීමෙන් හා ශික්ෂණයෙන් යුතු, මනා සංයමයකින් යුතුව, නිවැරදි කෝණය හදුනා ගතයුතු, සාමාන්‍ය මනුස්සයෙක් සිතන මට්ටමට වඩා ඉහලින් සිතිය හැකි පිවිතුරු හදවතකින් යුක්ත, සාධාරණ කෙනෙක් විය යුතුයි.  අනිවාර්යයෙන්ම කුහක කමින් තොර විය යුතුමයි.