Sunday, May 13, 2012

මැක්‍රෝ ලෙන්ස් එකින් බස්සාගේ පිංතූර......



Collared Scops Owl / Indian Scops Owl (Otus bakkamoena) බස්සා...




බිරිඳගේ කට හඬ මට ඇසුනේ මම ගෙදර සිට කාර්යාලීය වැඩ වගයක් කරමින් ඉන්නා අතර තුරේදීය.  "මේ..... ජනේලෙ ගාවින් චූස්...චූස් ගාලා ෂබ්ධයක් එනවා පොඩ්ඩක් බලනවාද....?" "චුට්ටක් ඉන්න මම පොඩි වැඩක්..." මමද උත්තර දුනිමි.  එහෙත් මට වැඩි වෙලා එසේ ඉන්නට ලැබුනේ නැත. ඇගේ මැසිවිලි නැගීම නිසාම මම විදුලි පන්දමත් දල්වාගෙන මගේ නිවස පිටුපසින් ආ ආගන්තුක ශබ්ධය මොකක්ද බලන්න එලියට බැස්සෙමි.

ශබ්ධය එන දිසාවට එලිය විහිදූ මට දැක ගත හැකි වූයේ මේ රාත්‍රී කුමාරයාය. නැවත ගෙට දුවගෙන ආවෙමි. 70-300mm ලෙන්ස් එක නිකොන් D7000 කැමරාවට අමුනාගෙන SB800 ෆ්ලෑශ්‍ර් එකද හොට් ෂූ එකට එකතු කර ගත්තෙමි. විදුලි පන්දම ඇල්ලීමට මම කතා කරගෙන ගියේ මගේ චූටි දුවය. ඇය එක දිගටම එය අල්ලාගෙන සිටියද මගේ කරුමෙට ෆ්ලෑෂර් එකේ බැටරි බැහැලාය.  ඒ මදිවට චූටි දුව සිටගෙන ඇත්තේ ඇඹලයො සිටිනා තැනකය.  ඇඹලයෝ ඇගේ කකුල දිගේ උඩට එනවිට ඇය අඩි පොලොවේ හප්පයි.  මේ අල්ල පනල්ලේ මේකා පියාඹා ඊට එහා ඉහල අත්තක වැහුවේ මගේ ඉහ මොල රත් කරය. 





දුවගෙන් විදුලි පන්දම අරගත් මා ඇයව ගෙට ඇරලා කුරුල්ලා වහපු ගස මුලට ආවෙමි.  හිමින් සීරුවේ විදුලි පන්දම මානා බස්සාව සොයා ගත්තෙමි.  විදුලි පන්දම අතැතිව මට තනි අතින් කැමරාව ෆෝකස් කර ගැනීමට බොහෝම අසීරු විය.  ශ්‍රී ලංකාවේ නිකොන් බලයලත් ඒජන්ත වරුන් වන ෆොටෝ ටෙක්නිකා ආයතනයෙන් මට තෑගි ලෙස දුන් බටරි ග්‍රිප් එකත් කැමරාවට සවි කර තිබීම නිසා කැමරාව බරින් වැඩිය.  එලිය කුරුල්ලාට පතිත වන ලෙස මම විදුලු පන්කාව කකුල් දෙක මැද ගසාගත්තෙමි.  දැන් මගේ දෙඅත නිදහස් බැවින් නිදහසේ කැමරාව මානා ෆෝකස් කරන්නට උත්සාහ කෙරුවෙමි.  70-300 ලෙන්ස් එකෙහි ෆෝකසින් අවුලක් පෙන්නුම් කරයි. එය ස්වැයංක්‍රීයව ෆෝකස් වන්නේ නැත.  මම Manual Override එකක් ගෙන ලෙන්ස් එක ෆෝකස් කෙරුවෙමි.  පිංතූරයක් ගත්තද එය හොඳ තත්වයේ නොවිනි.  ෆ්ලෑෂර් එකේ බැටරි හොදටම බැස තිබුනි.  මේ අතර කකුල් දෙක මත හිරකරගෙන හිටපු විදුලි පන්දම ගිලිහී වැටුනි.  බස්සා නැවත ඉගිලී ගියේ ගිය පැත්තද සොයා ගත නොහැකි ආකාරයටය.  

ගෙට ගොඩ වූ මා නැවත ශබ්දය ගැන කල්පනා කාරී වීමි.  කාර්යාලීය වැඩ දැන් පසෙකය. නැවතත් එම ශබ්ධය සවනත වැකේ. දැන් මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස්ය. කල හැකි එකම දේ වුනේ මගේ මැක්‍රෝ ලයිටින් කිට් එක සවි කර ගැනීමය. 70-300 ලෙන්ස් එක ඉක්මනින් ෆෝකස් කරගත නොහැකි ලෙස අවුලක් පෙන්වූ නිසාත් SB800 ෆ්ලෑෂරයෙහි බැටරි බැස තිබුනු නිසාත් මම 105mm f2.8 ලෙන්ස් එක අර ගත්තෙමි.  ඊට මැක්‍රෝ ලයිටින් කිට් එක අමුනා ගෙන විදුලි පන්දම ඇල්ලීමට මම මගේ පුතුගේ සහය ගත්තෙමි.  විදුලි පන්දම දල්වන්නේ නැතුව මම පුතා සමග එලියට ආවේ නැවතත් බස්සා කලබල වී ඉගිලී යාවි යැයි යන සැකය සිත තුල කැකෑරුනු නිසාමය.

මට බස්සාගේ හඬ ඉතාම ආසන්නයෙන් ඇසේ.  වාසනාව ගේ දොරකඩමය. මේ බස්සා ඉතාම පහල අත්තක වසා සිටියේය. ටොර්ච් එක මානා මම මගේ පුතු අතට දුනිමි. එහා මෙහා නොකරන්නට ඔහුට උපදෙස් දුනිමි. පුතාද එක එල්ලී විදුලු පන්දුව මානාගෙන මගේ උපදෙස් අකුරට පිලිපැද්දේය.  සීරු මාරුවට කුරුල්ලාට මා ඉතා ලං වූයේමි. අවසානයේ මීටර් දෙකකට පමන කිට්ටු වී මේ ඡායාරූපය මෙමරි පතට දායද කර දුනිමි. සුන්දර දවසක අවසානය මෙසේ සනිටුහන් කරමින් මම එය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමි.
— in Kaduwela, Sri Lanka.

Camera : Nikon D7000

Lens : Nikkor 105mm f2.8
Accessories : Nikkon R1C1 Macro Lighting Kit


6 comments:

  1. හරිම ලස්සන පින්තුරේ. හැබැයි මම ගොඩාක් කැමති නිධාන කතාවට. ඇත්තෙන්ම මේ වගේ සුන්දර පින්තුර පිටුපස තිබෙන සුන්දර කතා වස්තුව තුලින් අපට ලැබෙන රුකුල වචන වලින් කියන්න බැහැ. ගොඩාක් ස්තුතියි ප්‍රසාද අයියා!!

    ReplyDelete
    Replies
    1. මේක කියවන්න කාලය වැය කලාට ඔයාටත් ගොඩාක් ස්තූතියි.

      Delete
  2. Very nice work Prasad, keep it up!

    ReplyDelete
  3. ඡායාරූපකරණය ගැන උනන්දුවක් දක්වන කෙනෙකු හැටියට ඔබගේ නිධාන කතාව ඉතා වටිනවා. හොඳ ඡායාරූපයක් ගැනීම කොතරම් පරිශමයක් දැරිය යුතු කර්තව්‍යයක් බව ඔබේ විස්තරයෙන් පැහැදිලි වෙනවා....ස්තූතියි...

    ReplyDelete