Tuesday, June 26, 2012

මැක්‍රෝ ඡායාරූපකරණයට අත්වැලක් - Macro Photography

ඡායාරූපකරණයේ ඇති දුෂ්කරවූ ඡායාරූපකරණය මැක්‍රෝය.  ඉතාමත් සීමිත නාභි පරාසයක් (Depth of Field) තුල ලේන්සය නාභි ගත කිරීම ශරීරයට ඉතාමත් වෙහෙසකරය.  එහෙත් අවසාන ප්‍රතිපලය සාර්ථක ඡායාරූපයක් නම් ඉන් ලැබෙන තෘප්තිය පවසන්නට ඔබට වචන නැතිවනු නොඅනුමානයි.  ඡායාරූපකරණයේ නියැලෙන බොහෝ දෙනා විවිධාකාරයට මැක්‍රෝ ඡායාරූප ගනිති.  කෙනෙකු මැක්‍රෝ සඳහාම වෙන්කළ ලෙන්සයක් භාවිතා කරන අතර තවකෙකු සාමාන්‍ය ලෙන්සයක් සීරු මාරු කර (Reverse Lens) භාවිතා කරයි.  මෙම අවස්ථා දෙකෙන් ඡායාරූපයට වඩාත්ම ගුණාත්මක භාවයක් ගෙන දිය හැක්කේ මැක්‍රෝ සඳහාම නිෂ්පාදනය කල මැක්‍රෝ ලෙන්ස් එකක් භාවිතා කිරීම තුලින් බව මා පැවසිය යුතුමය.  මැක්‍රෝ සඳහා පුහුණුවක් ලැබීමට Reverse Lens ක්‍රමය භාවිතා කලාට කිසිම වැරද්දක් නැත.  එහෙත් ඔබ මැක්‍රෝ ගැන ඉතාමත් සැලකිල්ලක් දක්වන්නේ නම් ඔබ මැක්‍රෝ ලෙන්ස් එකක් ඔබගේම කරගත යුතුමය.  ඒ විතරක් නොව මීට තව එකතු කරගත යුතු මෙවලම් කිහිපයක් වේ.  එනම්, මැක්‍රෝ ආලෝකකරණ කට්ටලයක්, මැක්‍රෝ රේල් එකක්, ත්‍රිපාදයක් (Tri Pod) හා කේබල් රිලීසයක් ආදී වශයෙනි.  මා පාවිච්චි කරනු ලබන්නේ Nikon කැමරා කට්ටලයකි.  Nikon D200 හා D7000 යන කැමරා දෙක සමග මම Nikon 105mm f2.8 මැක්‍රෝ ලෙන්ස් එකත් Nikon R1C1 මැක්‍රෝ ආලෝකකරණ කට්ටලය සමග භාවිතා කරමි.  ඉතාමත් සියුම් මැක්‍රෝ ඡායාරූපකරණයක් නම් මම බොහෝ විට මාගේ Manfretto මැක්‍රෝ රේල් එක හා Gitzo ත්‍රිපාදය භාවිතා කරමි.  මෙසේ මේ දෙක එකතු කරගන්නා හැම අවස්ථාවකදීම කේබල් රිලීසය පාවිච්චි කිරීමටද වගබලා ගනිමි.



භාවිතයට ගැනුණු උපාංග

1




2





3



4




5


1.  Nikon 105mm f2.8 මැක්‍රෝ ලෙන්ස් එක 
2.  Nikon R1C1 මැක්‍රෝ ආලෝකකරණ උපකරණය 
3.  Nikon කේබල් රිලීසය 
4.  Manfretto මැක්‍රෝ රේලය 
5.  Gitzo ත්‍රිපාදය 



මැක්‍රෝ ඡායාරූපකරණයේදී ඉතා සියුම් පියවී ඇහැට පවා දැකිය නොහැකි දේ බලා ගැනීමට යම් මග පෑදීමක් ඇති කරගත හැකිය.  එහෙත් ගුණාත්මක බවින් පිරිපුන් මැක්‍රෝ ඡායාරූපයක් ගැනීමට ඉතා හොඳ ඉවසීමක් සමග මනා පුහුණුවක් අත්‍යවශ්‍ය බව අවධාරණයෙන් කිව යුතුය.  මවිසින් මැක්‍රෝ ඡායාරූප අත්හදා බලන කාලයේ පිංතූර සිය ගණන් ගෙන හිස් අතින් ගෙදර ආ වාර අනන්තය.  ඡායාරූප ගොන්නෙන් එකක්වත් කෙසේවත් භාවිතයට ගැනීමට තරම් සුදුසු තත්වයේ නොවුනි.  එහෙත් උත්සාහය ඇත නොහැර ඒ පිළිබඳව මනා අධ්‍යනයකින් හා කලින් දිනවල අත්හදා බැලීම් වලින් උගත් පාඩම් වලින් වැරදි නිවැරදි කරගැනීමෙන් මේවා සාර්ථක කරගත හැක.  මුල්ම කාලයේදී මා ලෙන්ස් සීරු මාරු කර (Reverse) මැක්‍රෝ කරන්නට උත්සාහ කලෙමි.  එසේ ගන්නා ඡායාරූප ලෝකයේ විවිධ ඡායාරූප ශිල්පීන්ගේ මැක්‍රෝ ඡායාරූප හා සංසන්ධනාත්වකව බැලුවෙමි.  ඉන් මාගේ ඡායාරූප ගුණාත්මක බවින් තොර ඒවා බව මටම ප්‍රත්‍යක්ෂවූ කල මට මැක්‍රෝ ලෙන්ස් එකක් ගැනීමට සිදුවිය.  ඒ වනවිට මැක්‍රෝ ඡායාරූපයක් ගැනීමේදී සෙලවීම පාලනය කිරීමට මා පුරුදු පුහුණු වී සිටියෙමි.  ඉතා හොඳින් ආලෝකය ඇති අවස්ථාවල මට මැක්‍රෝ ඡායාරූප ගැනීම කල හැකි වුවද ආලෝකය මද අවස්ථා වලදී ඒවා ඉතාමත් නොසුදුසු තත්වයේ වීම මා මැක්‍රෝ ආලෝකකරණ උපාංගයක් ගැනීමට තරම් දහිරියමත් කළේය.  කාලයත් සමග එන ඡායාරූප ඥානයත් සමග පුංචි සෙලවීම් පවා මට හොඳින් දැනෙන්නටවූ කල මම මේ සඳහා ත්‍රිපාදයද එකතු කරගත්තේ කේබල් රිලීසයද සමගිනි.  සියල්ල මෙසේ සම්පූර්ණ වුවද ඉතා කුඩා නාභි පරාසයක පැහැදිලිව පෙන්විය හැකි ප්‍රමාණය මා සිතට ප්‍රමාණවත් නොවුනි.  එසේ හෙයින් මට මැක්‍රෝ රේල් එකක වියදම දැරීමට සිදුවිය.  ඉන් මට ඉතා ප්‍රයෝජනවත් තත්වයකට ඡායාරූප ගැනීමේ හැකියාව ප්‍රගුණ කල හැකි විය.  එකම තලයක සිට විවිධ නාභි පරාසයන් ඔස්සේ ගන්නා වූ ඡායාරූප කිහිපයක් එක පිට එක අතිපිහිත කිරීමෙන් (Focus Stacking) එකම වස්තුවේ සැලකිය යුතු ප්‍රමාණයක් නාභි ගතකර පෙන්වීමට මට හැකියාව ඇති විය.  

මැක්‍රෝ ඡායාරූපකරණයේදී පාලනය කල නොහැකි ජීවී වස්තුන් (ජීවින්) ඡායාරූප ගැනීම අතිශය වෙහෙසකර ක්‍රියාවකි.  ඒ වගේම එකම තලයක තියා විවිධ නාභි දුරවල් වලින් ඡායාරූප කීපයක් ගෙන ඡායාරූප අතිපිහිත කිරීමද ඉතාමත්ම දුෂ්කරය.  මා බොහෝවිට මේ සඳහා පුංචි මකුළුවන්ගේ පිංතූර ගැනීමට උත්සාහ කලද එය නිෂ්පල විය.  එහෙත් ක්‍රමයෙන් උන්ගේ ක්‍රියාකාරිත්වය කෙරෙහි හොඳ අධ්‍යනයක යෙදීමෙන් අනතුරුව ඒ සඳහා යම් ඉඩක් ලබා ගත හැක.  මෙයට බොහෝ විට බලපාන්නේ කැමරාවේ ෂටරය ක්‍රියාත්මක වීමේදී ඇතිවන ශබ්ධයයි.  එම ශබ්ධයට මකුළුවා හෝ කෘමියා බියවී එතනින් පලා යයි.  

මැක්‍රෝ ලෙන්ස් එකක් තිබුණු පලියට ඉන් ඡායාරූපගතකරන සියල්ල මැක්‍රෝ නොවේ.  මැක්‍රෝ වීමට නම් ලෙන්සයේ සම්පූර්ණ නාභි දුරෙන්  1/10 අඩු ප්‍රමාණයක සිට නාභිගත කරගත යුතුයි.  උදාහරණයක් හැටියට අපි 105mm f2.8 ලෙන්ස් එක ගැන සලකා බලමු.  මින් 1/10 වන්නේ 10.5mm ය.  එයත් ෆුල් ෆ්‍රේම් කැමරාවක නොවේ නම් සම්පූරණ නාභි දුර 157mm වී මැක්‍රෝ වීමේදී වස්තුවේ සිට 15.7mm ට වඩා අඩු දුරක සිට නාභි ගත කර ගත යුතු වන්නේය.  මේ ආකාරයට මැක්‍රෝ වීමට නාභි දුර සම්පූරණ වීමේදී අපි 1:1 විශාලනයක් යැයි කියමු.  ඊටත් වඩා කිට්ටුවට නාභි ගත කිරීමේදී 1:1 සිට 1:2, 1:3 ආකාරයට විශාලනය වැඩි වේ. 1:1 විශාලනය සහිතව අපි මැස්සෙකුගේ සම්පූරණ අහක් නාභි ගත කරගත්තොත් එය 1:2 වෙද්දී අපිට නාභි ගතකර ගත හැකි වන්නේ ඇහෙන බාගයක් පමණි.  මේ ආකාරයට වස්තුවත් කැමරාවත් අතර දුර අඩු වෙන්න අඩු වෙන්න එසේත් නැත්නම් නාභි පරාසය අඩුවෙන්න අඩුවෙන්න වස්තුවේ විශාලනය වැඩිවේ.  එසේ වීමේදී අපිට ඡායාරූපයට නගා ගත හැකි වන්නේ වස්තුවෙන් කොටසක් පමණි.  


ඉහතින් පෙනෙන්නේ මැස්සකුගේ ඇහැක මැක්‍රෝ ඡායාරූපයකි.  මෙහි පැහැදිලිව පෙනෙන්නේ මැස්සාගේ ඇහැ පමණි.  පියවි ඇහැට දැකිය නොහැකි මැස්සාගේ සංයුක්ත ඇස් මනාව පැහැදිලිව මෙහි හොඳින් පෙන්නුම් කරයි.  එහෙත් ශරීරය අපැහැදිලිය.  මැස්සාගේ ඇසේ මේ විශාලනයත් සමග ශරීරයත් පැහැදිලිව ගැනීමට අවශ්‍ය නම් අපිට එකම තලයක සිට විවිධ නාභි පරාසයන් ඔස්සේ ගත් පිංතූර කිහිපයක් ගෙන ඒවා අතිපිහිත කිරීමට සිදුවේ. 

සාර්ථක ඡායාරූපයක් ගැනීමට ඉවසීම ඉතාමත් වැදගත්ය.  එසේ ඉවසීමෙන් ගන්න ඡායාරූප ගුණාත්මක බවින් වැඩිය.  පහතින් දක්වා ඇති රොන් උරණ බඹරාගේ ඡායාරූපය ගැන අපි අවධානය යොමු කරමු.  


මා මෙය නාභි ගත කලේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, බැද්දගානේ පිහිටා ඇති පාපන්දු ක්‍රීඩාන්ගනයට මෙපිටින් ඇති කළු පිට්ටනිය යැයි ගම්මුන් විසින් හඳුන්වන භූමිය සමීපයේදීය.  මෙම බඹරා වසා ඇත්තේ බෝවිටියා මලකය.  බඹරා වැඩිවෙලා එකතැනක රැදෙන්නකු නොවන බව අපි අත්දැකීමෙන් දන්නා කරුණකි.  ඒ සමගම එලිමහනක නිසා හුළං හැමීමෙන් වසා සිටින අත්ත නිතර එහාට මෙහාට පැද්දේ.  හුළං හැමීම නතර වී අපට ඡායාරූපය නාභි ගතකර ගැනීමට ලැබෙන කාල පරාසය ඉතාමත් අඩු කාලයකි.  එම සුළු කාලය තුල අපි නිවැරදි කෝණය වටහා ගෙන ඡායාරූපය නාභි ගත කර ගත යුතුයි.  මෙය පැත්තෙන් සිට ගත් ඡායාරූපයකි.  ඉදිරියෙන් කෝණය සකසා ගත්විට බඹරාගේ ඇස් දෙක ඇරෙන්න වෙන කිසිවක් ඡායාරූපයේ පැහැදිලිව පෙන්වීමට නොහැකි වේ.  ඊට හේතුව මැක්‍රෝ වලදී අපිට ලැබෙන නාභි පරාසය ඉතාමත් අඩු වීමයි.  ගැඹුර අඩු වුවද එකම තලයේ පිහිටන සියලු දේ අපිට පැහැදිලිව දැකගත හැකි වේ.  එබැවින් ඇසත්, ශරීරයත් හොඳින් නාභි ගත කර ගන්නට  නම් ඇසත්, ශරීරයත් එකම තලයකදී නාභි ගත කරගත යුතු වන්නේය. ඡායාරූපයට වඩාත් හොඳ සාධාරණයක් ඉටු කිරීමට හැකි එකම කෝණය එබැවින් මෙය බව දැන් ඔබට පසක් වනු ඇත.  මෙම ඡායාරූපය Nikon D7000 කැමරාවට Nikon 105mm f2.8 ලේන්සය අමුණා Nikon R1C1 මැක්‍රෝ ආලෝකකරණ කට්ටලයෙන් ආලෝකමත් කර ලබා ගන්නා ලදී.  
පහතින් දක්වා ඇති මෙම ඡායාරූපය බොහොම මෑතකදී ගන්නා ලද්දකි.  2012 මැයි 13 වෙනි දින සවස 6.39 ට පමණ මෙය ගන්නා ලද්දේ Nikon D7000 කැමරාවට 105mm f2.8 මැක්‍රෝ ලෙන්ස් එක එකතු කර ගැනීමෙනි. 


 ඡායාරූපයක් ගැනීමට තරමේ වෙලාවක් නොවුවද පැයක් පමණ එක දිගට ඇද හැලුණු පොද වැස්සෙන් පසුව මම එලියට ආවේ මා මිතුරු අජන්ත වත්තලගෙදරගේ යෝජනාවකට අනුව ෆොටෝ ටෙක්නිකා අධිපති හර්ෂ මල්වැන්න මහතා විසින් ස්තුති පූර්වකව ලබා දුන් MBD-11 බාහිර බැටරි ග්‍රීපය අත්හදා බැලීමේ දැඩි උවමනාව නිසාමය.  පොද වැස්සෙන් ඇඟ පුරාම වැටුණු වැහි බිඳු සමග සිටි මේ බත්කූරා මෙදින මගේ වස්තු බීජය විය.  මෙවැනි අවස්ථා අපිට ජීවිත කාලයටම මතක හිටින ඡායාරූප ගැනීමට අවකාශ සලසාලයි.  ඡායාරූප ශිල්පියෙකු කිසිම දිනෙක මෙවැනි අවස්ථා ඇත නොහැරිය යුතුය.  බත්කූරාගේ සංයුක්ත ඇස් වල පිහිටා ඇති සංයුක්ත කාච හොඳින් පැහැදිලිව පෙනෙන අතර වැහි බිඳිති නිසා එම සංයුක්ත අක්ෂි කාච තව දුරටත් විශාලනය වී පෙනෙන ලෙස මෙවැනි අවස්ථාවල දී ඡායාරූපයට හසු කරගත හැකිය.  

දැන් අපි පහතින් ඇති අනෙක් ඡායාරූපය බලමු.  මේ කොරකහ මලකි.  මලත් සමඟ වැහි බිඳිති ඉතා පැහැදිලිව ඡායාරූපයට නගා ගන්නට මෙහි කෝණය සකසා ගෙන තිබේ.  



මේ ඡායාරූපය මලට ඉදිරියෙන් කැමරාව තබා නාභි ගත කලේ නම්, මලේ රේණු හා උඩින්ම ඇති වැහි බිඳිති පමණක් ඡායාරූපයට පැහැදිලිව දැක ගත හැකි වන අතර බලන අයට මේ කොරකහා මලක් බව අඳුනා ගන්නට නොහැකි වේ.  මලත් රේණුත් හා මලට සුන්දරත්වයක් එකතු කරන වැහි බිඳිතිත් පැහැදිලිව නාභි ගත කර ගැනීමට කෝණය මේ විදියට සකසා ගෙන ඇත.  

ඡායාරූපයක් ගැනීමේදී අපි බොහෝ සේ සැලකිලිමත් විය යුත්තේ වස්තු බීජයට වඩාත්ම හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්නටය.  අපි විසින් ඡායාරූපයට නගන වස්තු බීජය කුමක්දැයි ඡායාරූපය බලන්නන්ට හැකිතාක් දුරට නිවැරදිව අඳුනා ගත හැකි විය යුතුය.  මැක්‍රෝ වලදී ඡායාරූප ශිල්පියාට මෙම අභියෝගය ජයගන්නට ඉතාමත් වෙහෙසක් ගන්නට සිදුවේ.  ඊට හේතුව වන්නේ මැක්‍රෝ ඡායාරූපකරණයේදී නාභි ගත කරගැනීමට ලැබෙන නාභි පරාසය ඉතාමත් අඩු වීම බව මේ වනවිට ඔබට වැටහී තිබිය යුතුය.  එය එසේ  වුවද කෝණය වෙනස් කර ගැනීම තුලින් ශිල්පියාට ඊට වඩාත් හොඳ සාධාරණයක් ඉෂ්ට කලහැකි බව මා මෙහිදී සඳහන් කල යුතුමය.  මෙම ඡායාරූප කලාව කරගෙන යෑමට උපකරණ මිලදී ගැනීමේදී වියදම අධික වුවත්, සාර්ථක ඡායාරූප ශිල්පියෙකුට ඉන් ලැබෙන තෘප්තිය මිල කල නොහැකි බව මා අවධාරණයෙන් යුතුව අවසානයේදී මෙහි සඳහන් කරමි. 






























18 comments:

  1. ඉතාම වටිනා ලිපියක්. බොහොම ස්තූතියි දැනුම බෙදා ගත්තට.

    ReplyDelete
  2. it's really a great job.i need some advises fro you please visit my blog http://flowerssl.blogspot.com/

    ReplyDelete
  3. හොඳ වැඩක්..!! දිගටම දැනුම බෙදා දෙන්න ජය නියතයි..!!!

    ReplyDelete
  4. Bohoma Sthuthyi aiya upades walata.....

    ReplyDelete
  5. සුපිරි ලිපියක්. මමත් හරිම ආසයි මේ ප්‍රදේශයට. නමුත් ඉතින් ලේසි ඒරියා එකක් නෙමෙයිනෙ. සහ මගෙ ඩිජිටල් කැමරාවෙ නම් හොඳම හොඳ මැක්‍රෝ ගන්න බෑ, ක්ලෝස් අප් තමා ගන්න පුළුවන්.
    ස්තුතියි වටිනා ලිපියට.

    ReplyDelete
  6. වටිනා ලිපියක්

    ReplyDelete
  7. Prath ayyagen thawath ak upakarayak

    ReplyDelete
  8. ගෙඩක් ස්තුතියි ඔබතුමාට.. තව වටින ලිපි පෙලක් ඉදිරියට ලියාවි කියලා හිතනවා...

    ReplyDelete
  9. බොහො වටිනා දේ මෙම ලිපියෙන් ඉගන ගත්තා. කමරාවට macro rail සවි කරගන්නා විදිය පෙන්වන චායාරූපයක් දමන්නෙ නම් ස්තුති වෙමි

    ReplyDelete
  10. ඔය ෂටර් රිලීස් කේබල් එක නැති අඩු නම් මට ෆෝන් එකෙන් ක්ලොස්අප් ගන්න ගියහම හොදට ඇනෙනවා.. :D :D
    මොනා උනත් නියමවයි ප්‍රසාද් අයියා..

    ReplyDelete
  11. බොහොම වටිනා ලිපියක්. ස්තුතිය් ඔබේ වටිනා අත්දැකීම් අප හා බෙදා ගත්තට. කැමරා සෙටින්ස් ටිකත් දැම්මනම් ගොඩක්ම වටිනවා.

    ReplyDelete
  12. DSLR තවම හීනයක්‌ වුනත්, මම ඉතාම කැමති ක්ෂේත්‍රයක්. බොහොම වටිනවා මේ තොරතුරු. බෙහෙවින්ම ස්තුතියි.

    ReplyDelete
  13. ස්තුති හැමෝටම! ඔබගේ අදහස් මට බොහෝ වටිනවා. @ චමිල, ජයසිරි මාගේ රාජකාරියෙන් ඉඩක් ලැබුන විගසම පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඔබලාගේ ඉල්ලීම් ඉටු කරන්න.

    ReplyDelete
  14. මගේ ගාව DSLR නැති උනත්,මම උත්සහා අරන් තියෙනවා bird photography කරන්න.එත් එක හරිම අපහසු වෙහෙසකර දෙයක්.macro photography කියන්නේ ඊටත් අපහසු දෙයක්,ඔබ එය සාර්ථකව ජයගෙන තිබෙන බවයි පෙනෙන්නේ...ඔබට ජය

    ReplyDelete
  15. අපූරුයි සහ ස්තූතියි ලිපියට

    ReplyDelete
  16. ගොඩක් වටිනවා දිරිගන්වනසුළුයි.

    ReplyDelete