Sunday, September 7, 2014

සාර්ථක වන ජීවී ඡායාරූපයක් ගැනීමට නම්......

1).  එක් වරකට එක අරමුනක පිහිටා ඡායාරූප ගන්න.

සාර්ථක වන ජීවී ඡායාරූපයක් ගැනීමට ඔබගේ සිත එක අරමුනක තබා ගත යුතුය.  බොහෝ වන ජීවී ඡායාරූප ශිල්පය හදාරන්නවුන් ඡායාරූප ගැනීමට ලොබ බඳී.  එය එසේ විය යුතුය. එහෙත් මෙහිදී බොහෝ විට සිදු වන්නේ එක අරමුනක සිත නොයොදවා දකින දකින හැම අරමුනක්ම ඡායාරූප ගැනීමට පෙලඹීමයි.  එය එසේ සිදු නොවිය යුතුය.  ඡායාරූප ශිල්පයට අතපොත් තබන අවදියේදී මාද මෙලෙස අරමුනක් නැතුව දකින දකින හැම සත්වයෙක්ම ඡායාරූපයට නගා ගත්තෙමි.  අරමුන පුළුවන් තරම් ඡායාරූප ගැනීම පමනක්ම විය.  එහෙත් එය ඉතාම වැරදි ක්‍රම වේදයක් බව මා ඔබට පවසන්නේ අවුරුදු 20ක පමන අත්දැකීම් තුලින්ම ලබාගත් දැනූමේ සම්පින්ඩනයක් ලෙසිනි.  
එක වරකට ඔබගේ අරමුන විය යුත්තේ එක් වස්තුවක් පමනි.  උදාහරනයක් ලෙස අපි යාල දිවියෙකුගේ ඡායාරූප ගනිමින් සිටිනවායයි සිතමු.  ඒ සමගම උක්ස්සෙකු ඇවිත් ඉතාම ලඟ අත්තක වැසුවොත් ඔබ අනිවාර්යෙන්ම ඒ දෙසෙටද කැමරාවා මානා උකුස්සාගේද පිංතූරයක් ගන්නවා නොඅනුමානය.  ඒ මොහොත දිවියාගේ ඉතාමත් සිත්කළු, දුර්ලභ හැසිරීමක් ඔබට මග හැරීමට බොහෝ ඉඩකඩ ඇත.  එම නිසා එක වරකට එක අරමුනක අපේ සිතත් කැමරාවත් තබා ගත යුතුය.  වනජීවී ඡායාරූප ශිල්පය මට භාවනාවක් වන්නේ මේ නිසාය.  එක මොහොතක එකම අරමුනක එකම වස්තුවක් කෙරෙහි අපගේ අවධානය යොමුකරගෙන සිත ඒකාත්මීය කරගනු ලබන්නේ මෙවලමද ඊට එකතු කර ගනිමිනි.  




ඉහතින් දක්වා ඇත්තේ විල්පත්තුවේදී මවිසින් ඡායාරූපයට නගා ගත් මුහුදු උකුස්සන් දෙදෙනෙක්ගේ ඉතාමත් දුර්ලභ ඡායාරූපයකි. අහස් කුස පුරාම සැරිසරමින් අනග රංගනයක යෙදෙමින් සිටි මෙම උකුස්සන් යුවල වම්පසින් හා දකුනු පසින් පියාඹා විත් එක මොහොතක් මෙසේ නතර විය.  එම දසුන මා හට ඡායාරූපයට නගා ගත හැකි වූයේ මෙම උකුස්සන් යුවල කෙරෙහිම සිත යොදවාගෙන උන්ගේම පිංතූර පමනක් ඡයාරූපයට නගා ගත් නිසාවෙනි.


මා වාසය කරන වටපිටාව ඉතාම සුන්දර වටපිටාවකි.  කාර්යාලයට යන්නට මා නිතරම තෝරා ගන්නේ වෙල මැද්දෙන් වැටී ඇති පාරකි.  එසේ යන බොහෝ විට මා වාහනය නතර කර වගුරු සහිත වෙල අසල මොහොතක් රැඳෙමින් කුරුල්ලන්ගේ ඉරියවු නරඹමින් සිටින්නෙමි.  ඉන් මා සිතට ප්‍රබෝදයක් ලැබේ.  දිනක් මෙසේ රැකියාවට එන අතරතුර මා අන් කවරදාටත් වඩා පැස්තුඩුවන් හා කොකුන් වගුරු බිමෙහි රැඳී සිටිනවා දුටුවෙමි.  නැවත වාහනය හරවා ගත් මම නිවසට විත් කැමරා ආම්පන්න ටිකද රැගෙන නැවතත් වෙල අසල වගුරු බිමට පැමිනියෙමි.  


පැස්තුඩුවන් හා කොකුන්ගෙන් වගුරු බිමේ සුන්දරත්වය ඉතාමත් ආකර්ශනීය කර තිබුනි.  බොහෝ කුරුල්ලන් සිටියද මා අරමුනු කරගන්නේ වරකට එක් කුරුල්ලෙක් පමනි.  වගුරින් ඒකා ඉගිලී යන තුරුම විවිද ඉරියවු ඡායාරූපයට නගා ගන්නා මම වගුරින් ඒකා ඉගිලී ගිය පසු වෙනත් කුරුල්ලෙකු වෙත අවධානය යොමු කර පෙර ලෙසම ඒ කුරුල්ලාගේම පමනක් ඡායාරූප අරගනිමි.  එහි ප්‍රථිපලයක් ලෙස මට ඉතාමත් සුන්දර ඡායාරූප කීපයක්ම එදින ඡායාරූපයට නගා ගත හැකි විය.



ඉහතින් දක්වා ඇත්තේ මාළුවෙකු දඩයම් කල අභිජනන අවදියේ සිටින කොකෙකි.  වතුරෙන් එලියට මාළුවා ඩැහැගත් එම අවස්තාව මට මෙසේ ඡායාරූපයට නගා ගත හැකි විය.  මෙම ඡායාරූපය විශාල කර බැලීමේදී වරල් ගසන මාළුවාගේ වරල් වල ඇති වතුර සමග ඒකාගෙ ලේ බිඳු ද විසිරෙනු දැක ගත හැක.  එය එසේ ඔබටද බලා ගත රිසි වනු වස් මා එහි විශාලනය කල ඡායාරූපයක් මෙසේ පල කරමි.   ගොදුර ගිල දමා මෙම පක්ෂියා ඉගිලී ගිය පසු මාගේ අරමුන වෙනත් කොකෙකු වෙත් යොමු කලෙමි.  එකාගේ ඉතාමත් සොඳුරු පිංතූරයක් මට ඡායාරූපයට නගා ගත හැකි වුයේ ආක්‍රමණික යෝධ නිදිකුම්බා පඳුරක තටු විදා වහන්නට සැරසෙන මොහොතකය.  මෙහි පහතින් දිස් වනුයේ එකී ඡායාරූපයයි.





මෙම සුන්දර ඡායාරූප සියල්ලම ගැනීමට මාහට පාදක වූ එකම කාරනාව වූයේ එක් වරකට එක අරමුනක එක වස්තුවක් කෙරෙහි පමනක් අවධානය යොමුකරමින් ඒ වස්තුවෙහි පමනක් ඡායාරූප ගැනීමට මා පුරුදු වී සිටිමය.  එසේ නොවන්නට මෙම ඡායාරූප සියල්ලම සාමාන්‍ය ඡායාරූපයකට වඩා වෙනසක් ගන්නේද නැත.  


එබැවින් එක වරකට එක් වස්තුවක් එක අරමුනක තබාගෙන ඡායාරූපවලට නගා ගැනීමට ඔබද පුරුදු පුහුනු වන්න.  ඉතාමත් සොඳුරු පිංතූර ගැනීමට ඔබට හැකිවනු නොඅනු මානය. 

5 comments:

  1. බොහොම ස්තුතියි ඔබට මේ අගනා උපදෙස් සහිත ලිපියට. මගෙත් එක විනෝදාංශයක් ඡායාරූප ශිල්පය. නමුත් මම තවමත් ආධුනිකයෙක්. ඔබ වැනි ප්‍රවීණයන්ගේ අදහස් අගය කරනවා. ඡායාරූප ශිල්පයට අදාළව, මා අද ලිපියක් පළ කළා මගේ අඩවියේ. wicharaka.blogspot.com එය කියවා උපදෙසක් දෙන මෙන් කාරුණිකව ඉල්ලනවා.

    ReplyDelete
  2. Grate work sir.I like to follow this impressive clicks.‪this's not better than yous.If it is good please give me a hand ,Just Like my page
    https://www.facebook.com/nuwanjithulpathakumbura.photography/photos_stream
    https://www.facebook.com/nuwanjithulpathakumbura.photography/timeline

    ReplyDelete
  3. ඔබට ස්තුතියි මෙවන් වැදගත් කරුණූ බෙදා දෙනවාට .

    ReplyDelete
  4. ඇත්තටම ගොඩක් වටිනවා සර්

    ReplyDelete
  5. බොහොම වටිනා ලිපියක්. ඔබට බොහොම ස්තුතියි සර්.

    ReplyDelete