Thursday, July 26, 2012

Extension Tube Experiment - Extension ට්යුබ් සමග පරීක්ෂනයක්


මැක්‍රෝ පිලිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම මේ පරීක්ෂනය හා අත් හදා බැලීම කලේ පහත සඳහන් උපකරන උපයෝගී කරගනිමිනි.  මේ සඳහා Extension Tube ලබාදීම පිලිබඳව CameraLK ආයතනයේ අනුෂ්ක මල්ලීට මාගේ ස්තූතිය හිමිවේ.


1).  Nikon D7000 කැමරාව
2).  Nikon 105mm f2.8 මැක්‍රෝ කාචය
3).  Nikon R1C1 ආලෝක කරන කට්ටලය
4).  Extention Tubes


කැමරාව සහ ආම්පන්න ඉදිරියෙන් පෙනෙන ආකාරය



Tuesday, June 26, 2012

මැක්‍රෝ ඡායාරූපකරණයට අත්වැලක් - Macro Photography

ඡායාරූපකරණයේ ඇති දුෂ්කරවූ ඡායාරූපකරණය මැක්‍රෝය.  ඉතාමත් සීමිත නාභි පරාසයක් (Depth of Field) තුල ලේන්සය නාභි ගත කිරීම ශරීරයට ඉතාමත් වෙහෙසකරය.  එහෙත් අවසාන ප්‍රතිපලය සාර්ථක ඡායාරූපයක් නම් ඉන් ලැබෙන තෘප්තිය පවසන්නට ඔබට වචන නැතිවනු නොඅනුමානයි.  ඡායාරූපකරණයේ නියැලෙන බොහෝ දෙනා විවිධාකාරයට මැක්‍රෝ ඡායාරූප ගනිති.  කෙනෙකු මැක්‍රෝ සඳහාම වෙන්කළ ලෙන්සයක් භාවිතා කරන අතර තවකෙකු සාමාන්‍ය ලෙන්සයක් සීරු මාරු කර (Reverse Lens) භාවිතා කරයි.  මෙම අවස්ථා දෙකෙන් ඡායාරූපයට වඩාත්ම ගුණාත්මක භාවයක් ගෙන දිය හැක්කේ මැක්‍රෝ සඳහාම නිෂ්පාදනය කල මැක්‍රෝ ලෙන්ස් එකක් භාවිතා කිරීම තුලින් බව මා පැවසිය යුතුමය.  මැක්‍රෝ සඳහා පුහුණුවක් ලැබීමට Reverse Lens ක්‍රමය භාවිතා කලාට කිසිම වැරද්දක් නැත.  එහෙත් ඔබ මැක්‍රෝ ගැන ඉතාමත් සැලකිල්ලක් දක්වන්නේ නම් ඔබ මැක්‍රෝ ලෙන්ස් එකක් ඔබගේම කරගත යුතුමය.  ඒ විතරක් නොව මීට තව එකතු කරගත යුතු මෙවලම් කිහිපයක් වේ.  එනම්, මැක්‍රෝ ආලෝකකරණ කට්ටලයක්, මැක්‍රෝ රේල් එකක්, ත්‍රිපාදයක් (Tri Pod) හා කේබල් රිලීසයක් ආදී වශයෙනි.  මා පාවිච්චි කරනු ලබන්නේ Nikon කැමරා කට්ටලයකි.  Nikon D200 හා D7000 යන කැමරා දෙක සමග මම Nikon 105mm f2.8 මැක්‍රෝ ලෙන්ස් එකත් Nikon R1C1 මැක්‍රෝ ආලෝකකරණ කට්ටලය සමග භාවිතා කරමි.  ඉතාමත් සියුම් මැක්‍රෝ ඡායාරූපකරණයක් නම් මම බොහෝ විට මාගේ Manfretto මැක්‍රෝ රේල් එක හා Gitzo ත්‍රිපාදය භාවිතා කරමි.  මෙසේ මේ දෙක එකතු කරගන්නා හැම අවස්ථාවකදීම කේබල් රිලීසය පාවිච්චි කිරීමටද වගබලා ගනිමි.



භාවිතයට ගැනුණු උපාංග

1

Tuesday, May 15, 2012

ශ්‍රී ලංකාවේ තල්මසුන් සහ ඩොල්ෆින්ස් - Whales & Dolpins in Srilanka

පුරා දින හතරක් දිවයිනෙන් බැහැරව සිටි මා නැවත දිවයිනට පැමිණියේ 2012 මාර්තු 23 වනදා ඉතාමත් වෙහෙසකර සංචාරයකට පසුවයි.  දින කිහිපයක් නිදිවර්ජිතව ගතකලද, නැවතත් මාර්තු 25 වනදින පාන්දර දෙකට මා ගෙදරින් පිටත් වුයේ, මා මිත්‍ර චින්තක ඩී සිල්වා නමැති සංචාරක උපදේශකයකු හා, පක්ෂීන් පිළිබද මනා දැනුමැත්තන් ගෙන් ලැබුණු ආරාධනයක් අනුව ඔවුන්ගේ සංචාරයකට සහභාගී වීමටය.  ඔහුගේ සංචාරක ආයතනය වන Bird and Wildlife Team මගින් සංවිධානය කරනු ලැබූ තල්මසුන් සහ ඩොල්ෆින් මතස්‍යන් නැරබීමේ මෙම සංචාරයට මටද නොමසුරු අනුග්‍රාහක දායකත්වය ලබාදී තිබුණි.  මා මිත්‍ර චින්තක ඩී සිල්වාට සහ, Bird and Wildlife Team ආයතනයට මගේ හද පිරි ස්තුතිය මේ අවස්ථාවේ පිරිනැමීමට කැමත්තෙමි.  

නිල් තල්මසා (Blue Whale)





මාගේ කැමරා ආම්පන්න

Lowerpro-protrekker-II-AW-Camera-Backpack-Open




Nikon D200 Body


Monday, May 14, 2012

Super Moon

බොහෝ ඡායාරුප ශිල්පින් සඳට පෙම් බැඳී අයවලුන් වෙති.  මටද එවැනි සුවිශේෂ හඳක එක අවස්ථාවක් කැමරා කාචයට හසු කරගැනීමට හැකි විය.  ඒ පසුගිය වෙසක් පුන් පෝය දාය.  Super Moon ලෙස හැදින්වුණු මෙය මා එදින කාච ගත කර ගත්තෙමි.  Nikon D200 කැමරාව Sigma 300-800mm f 5.6 ලෙන්ස් එකට අමුනා එය Gitzo ත්‍රිපාදයට සවි කර ගනු ලැබුවේ Wimberley II හෙඩ් එකේ ආදාරයෙනි.  ඉතාමත් නොසෙල්වී සිටින සේ සකස් කල මෙය වෙසක් සඳට මානා ෆෝකස් කරගත්තෙමි.  View Finder යට තැබූ ඇස මට අදහා ගන්නට නොහැකි තරමට මා ප්‍රථම වතාවට සඳ ඉතාමත් සුන්දර විදියට දුටුවෙමි.   2012මැයි 5වෙනිදා රාත්‍රී 11.04.54 පමණ නාභි ගතකර ගත් මෙය ඔබ සියළු දනා සමග විඳ ගැනීමට මෙසේ අන්තර්ජාලයට මුදා හැරියෙමි.  ඡායාරූපය උඩ ක්ලික් කිරීම මගින් මෙය විශාල කර බලා ගත හැක






Camera : Nikon D200
Lens : Sigma 300-800mm f5.6
Tri Pod : Gitzo Carbon Fiber 5 Series
Head : Wimberley II

Date : 5th May 2012
Time : 23:04:54 hours

Location : Kaduwela, Sri Lanka





Sunday, May 13, 2012

මැක්‍රෝ ලෙන්ස් එකින් බස්සාගේ පිංතූර......



Collared Scops Owl / Indian Scops Owl (Otus bakkamoena) බස්සා...




බිරිඳගේ කට හඬ මට ඇසුනේ මම ගෙදර සිට කාර්යාලීය වැඩ වගයක් කරමින් ඉන්නා අතර තුරේදීය.  "මේ..... ජනේලෙ ගාවින් චූස්...චූස් ගාලා ෂබ්ධයක් එනවා පොඩ්ඩක් බලනවාද....?" "චුට්ටක් ඉන්න මම පොඩි වැඩක්..." මමද උත්තර දුනිමි.  එහෙත් මට වැඩි වෙලා එසේ ඉන්නට ලැබුනේ නැත. ඇගේ මැසිවිලි නැගීම නිසාම මම විදුලි පන්දමත් දල්වාගෙන මගේ නිවස පිටුපසින් ආ ආගන්තුක ශබ්ධය මොකක්ද බලන්න එලියට බැස්සෙමි.

ශබ්ධය එන දිසාවට එලිය විහිදූ මට දැක ගත හැකි වූයේ මේ රාත්‍රී කුමාරයාය. නැවත ගෙට දුවගෙන ආවෙමි. 70-300mm ලෙන්ස් එක නිකොන් D7000 කැමරාවට අමුනාගෙන SB800 ෆ්ලෑශ්‍ර් එකද හොට් ෂූ එකට එකතු කර ගත්තෙමි. විදුලි පන්දම ඇල්ලීමට මම කතා කරගෙන ගියේ මගේ චූටි දුවය. ඇය එක දිගටම එය අල්ලාගෙන සිටියද මගේ කරුමෙට ෆ්ලෑෂර් එකේ බැටරි බැහැලාය.  ඒ මදිවට චූටි දුව සිටගෙන ඇත්තේ ඇඹලයො සිටිනා තැනකය.  ඇඹලයෝ ඇගේ කකුල දිගේ උඩට එනවිට ඇය අඩි පොලොවේ හප්පයි.  මේ අල්ල පනල්ලේ මේකා පියාඹා ඊට එහා ඉහල අත්තක වැහුවේ මගේ ඉහ මොල රත් කරය. 




කොර කහ මල්

ඉතාමත් සිත් ගන්නා දම් පාටකින් හෙබි මේ මල ගසේ අතු ඈත අතීතයේදී මිදුල් ඇමදීම සඳහා යොදා ගෙන තිබේ.   කාලයේ ඉපල් ලෙස හඳුන්වා ඇත්තේ මෙම ඉතිය.  ඉතාමත් ලඟින් ලඟින් අතු බෙදී යන නිසා, ඉතා කුඩා අත්තක වුවද බොහෝ අතු රිකිලි ඇත.







Camera : Nikon D7000
Lense : Nikon 105 f2.8
Lightning Kit : Nikon Macro Lightning Kit R1C1
Captured on 13th May 2012 in Kaduwela, Srilanka





Friday, May 11, 2012

පිළිහුඩුවන් හඹා යෑම.....


Common Kingfisher (Alcedo atthis) Male මල් පිළිහුඩුවා පිරිමි


ගෙයි ඇතුලෙ දවසෙම හිර වෙලා වගේ හිටපු නිසා ටිකක් වෙල පැත්තෙ ඇවිදින්න හිතුනා අද හවස. නුහුරු කුරුල්ලෙක් ඉගිලිලා ඇවිත් ඈත ගහක අත්තක වහනවා මම දැක්කා. හරියට කුරුල්ලා අඳුර ගන්න බැරි තැන ගෙට දුවගෙන ආවෙ කැමරාව අරගෙන යන්න. ඩ්රයි කැබිනට් එක ඇරලා අර මහා පත ලෙන්ස් එකත් එලියටඅරගෙන (ඔය ලෙන්ස් එක අරගන්න තියෙන අනිත් ලෙන්ස් සේරම එලියට ගන්න ඕන) ට්රයි ෆෝඩ් එකට අමුණ ගෙන ආයෙත් වෙලට දිවුවා. ඒත් යනකොට කුරුල්ලා ගිහින් එතන අළු කොබෙයි ජෝඩුවක් වහලා. ඉතින් ඉවසගෙන හිටියා කොයි මොහොතක හරි මේකා ඒවි කියලා. පැය භාගයකට පස්සෙ ආයෙත් ඉවෙන් වගේ දැනුනා අර පෙර විදියටම ඉගිලිලා ඇවිත් ඈත අත්තක ඒකා වැහුවා කියලා. කැමරාව මානලා පිංතූරෙ අරගෙන සූම් කරලා බලද්දි මල් කොට්ටෝරුවෙක් (Crimson - brested Barbet). ඡායාරූපය පල කිරීමට තරම් ගුණාත්මක  තත්වයක නැති නිසා මම ඒක මෙහි පල කලේ නැහැ. ඊට පස්සෙ ඒකා තිතේ ඉගිලලා ගියා. හුස්මක් අරගෙන එන්න හිතනකොට හීන් හඬක් නංවගෙන මගේ පිටිපස්සෙ මීටර් 40ක් විතර ඈතින් මල් පිලිහුඩුවා. මට ඕන වුනා මුලු ෆ්රේම් එක පිරෙන්න මේ කුරුල්ලගෙ පිංතූරයක් අරගන්න. මම හොඳටම දන්නවා ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි කියලා. පුංචි චලනයකටත් මුන් හරි සංවේදීයි.


දැන් කරන්න ඉතුරු වෙලා තිබුනෙ කුරුල්ලට හොරා මම ඌට ලං වෙන එක. ඒකටත් මේ ලෙන්ස් තඩිය උස්සගෙන යනවා කියන එක අමුම වහක්. ඒත් මම ඒ චැලේන්ජ් එක බාර ගත්තා. පිළිහුඩුවා බොහෝ විට ඉගිලිලා ගිහින් ආයෙත් ඇවිත් වහන්නෙ හුඟක් වෙලාවට ඒ අත්තෙම හෝ ඊට ආසන්නම තැනක. මේ චර්යාව මම බොහෝ දවස් අධ්යනය කරලා තියෙනවා. ඉතිං කුරුල්ලා ඉගිලිලා යන කන් ඉඳලා මම කැමරාව අටවපු ට්රයි ෆෝඩයත්  කර ගහගෙන හෙමින් හෙමින් අර පන් පඳුර ලඟට ලං වුනා. දැන් කුරුල්ලා වහන පන් පඳුරයි මායි අතර දුර මීටර් 20 විතර. දනක් උසට වතුර. මම ට්රයි ෆෝඩ් එක පහත් කරලා මාත් ඒ ගානටම පහත් වුනා. පස්ස සම්පූර්නයෙන්ම වතුරට යට වුනාට පස්සෙයි තේරුනේ පස්ස වතුරට යට වෙලා කියලා. මී උන රෝගයෙන් ගොඩ දෙනක් මලා කියලා මම අහලා තිබුනා. ඒ හුඟ දෙනෙක් මැරුනෙ වෙල් වල වතුර හේතුවෙන්. හිතට ඒක ආවත් පිංතූරය ගැනීම තමයි මගෙ එකම අරමුණ වුනේ. මී උන සිතුවිල්ල පැත්තකට දාලා මම ඇහැ තියා ගත්තා කැමරාවෙ වීව් ෆයින්ඩර් එකට. පැය භාගයක් පමණ ගත වුනාට පස්සෙ මල් පිලිහුඩුවගෙ කෙල්ල ඇවිත් වැහුවා ඔන්න මම මානගෙන හිටපු පඳුරෙ. දැන් මටත් මල් පිපිලා! පුල පුලා බලාගෙන හිටපු වස්තුව මට ඕන තැනටම ඇවිත්. පිංතූර කීපයක් අර ගත්තත් ඒවා ටිකක් විතර අඳුරුයි. ඔය එක්කම පිරිමි කුරුල්ලත් මාළුවෙක් හොටෙන් අරගෙන ඇවිත් ඒක කෙල්ලට පිලිගැන්වුවා. දෙන්නම එකට තියලා මම පිංතූරයක් අරගත්තා. ආයෙත් දෙන්නම ඉගිල්ලිලා ගියා. මම එක පිම්මෙ වැට අයිනට දිවුවා. පුතාට කතා කරලා කිවුවා මගේ ෆ්ලෑෂර් එක අරගෙන එන්න කියලා ඉක්මනට. පුතත් ඒ සැනින් මට ඒක ගෙනල්ලා දුන්නෙ දැන් දැන් ඒකටත් තේරෙන නිසා වෙන්න ඇති මොහොත ගෙවුනොත් හැම උත්සාහයක්ම වතුරෙ කියලා වන ජීවී ඡායාරූප කරනයේදි.


ආයෙත් බඩගාගෙන කැමරාව ලඟට ආවා. දැන් මමත් මඬ කරියෙක් වගේ. මුළු ඇඟේම වතුර. හිමීට සීරු මාරුවට හිටගෙන ෆ්ලෑෂර එක අටව ගත්තා කැමරාවට. ආයෙත් මම දැන් ස්නයිෆර් කෙනෙක් වගේ. කැමරාව මානගෙන හිටිය බොහෝ වේලාවක්. ඔය අතරෙ මගෙ හිත මතුරනවා අනේ වරෙන් අනේ වරෙන් කියලා. මගේ මැතිරිල්ලෙ බලෙන් වගේ ආයෙත් හීන් හඬක් නංවගෙන කිරිල්ලි ආවා. දෙසැරයක් හිතුවෙ නැහැ මම මගේ කාරිය ඉෂ්ඨ සිද්ධ කර ගත්තා. විටින් විට පැය එකහමාරක් විතර මම දෙන්නගෙම පිංතූර අර ගත්තා. ඔය  තියෙන්නෙ ඒ උත්සාහයේ ප්රථිපල. බලන්න මම දරපු ඒ උත්සාහයට මට ලැබිලා තියෙන ප්රථිපලේ වටිනවද කියලා....




Camera : Nikon D7000
Lens : Sigma 300-800mm f5.6
Flasher : Nikon SB800 (Angled 45 degrees and bounced)
Tri Pod : Gitzo Carbon Fiber 5 Series
Ball Head : Wimberley II


Settings of the Camera
Shutter : 1/60s
F Number : f5.6
Focal Length : 800mm
Flasher : Flash fired, compulsory flash mode
White Balance : Manual White Balance Set to Day Light (If you set the white balance to Flash mode it creates a yellowish color on the background. Since i shoot in day light with Flasher the white balance  set to Day light to get the Natural Colors as it is)


Common Kingfisher (Alcedo atthis)Female මල් පිළිහුඩුවා ගැහැනු
— in Kaduwela, Sri Lanka.




Common Kingfisher (Alcedo atthis)Male මල් පිළිහුඩුවා  පිරිමි — in Kaduwela, Sri Lanka.





Friday, March 30, 2012

වනජීවී ඡායාරූපකරණය

වන ජීවී  ඡායාරූපකරණය හුදෙක් සල්ලිකාරයන්ගේ විනෝදාංශයක්ව පැවති වකවානුවක් තිබුනි. ඩිජිටල් තාක්ෂනය බිහිවීමට කලින් ස්ලයිඩ් හෝ ෆිල්ම් භාවිතයෙන් කරනු ලැබූ ඡායාරූපකරණය අතිශය මිල වැය වන විනෝදාංශයක් විය. කාලයත් සමඟ ඩිජිටල් තාක්ෂනය මෙලොවට බිහිවීමත් සමගමේ තත්වය කෙමෙන් වෙනස් වී බොහෝ දෙනා ඡායාරූපකරණයට අවතීර්න වීමට පටන් ගෙන ඇත්තේ එදා තරම් මුදලක් අද වැය කල යුතු නැති නිසාමය.  එහෙත් කනගාටුවට කාරණය නම් දැන් හතු පිපෙන්නාක් මෙන් ඡායාරූපශිල්පීන් යැයි කියන කැමරා කාරයින් බිහිවීමයි.  දන්න ඉලවුවක් නැති වුනත් ෆොටෝ ගැසිය හැකි නිසා ඔවුන් පොරවල් යයි සිතාගෙන සිටී.  එහෙත් ඒ සියල්ලම කරන්නේ කැමරාවය. බොත්තම ඔබනවාට වඩා යමක් බොහෝ දෙනා දන්නේ නැත.  මාසයක් දෙකක් ෆොටෝ ගැසුවාට පසු ඔවුන් මහා ආචාර්යවරුන් සේය.  ඡායාරූප ශිල්පියේ හිනි පෙත්තටම ආ සහ, ඡායාරූපකරණය නගා සිටුවීමට දර දිය ඇදපු අයට වඩා දෙයක් කල සේ කතාවය.  මේ සියල්ල අතර අවංකවම ඡායාරූපශිල්පය හැදෑරීමේ ආසාවෙන් පෙලෙන පිරිසක්ද වේ.  මේ භූමිකාව ඒ අවංක උන් උදෙසාය.






වන ජීවී ඡායාරූපකරණයට පෙර සූදානම් වන්නේ කෙසේද....

වනජීවී ඡායාරූපකරණය අන් ඡායාරූපකරනයන්ට වඩා වෙහෙස මහන්සි වී කල යුතු වූවකි.  එයට පෙර සූදානමක් සහ මනා හික්මීමක් තිබිය යුතුය.  පරිසරය හා පාරිසරික වෙනස්කම් ගැන මනා වැටහීමක් ලබා ගත යුතුය.  වන ජීවීන් හා උන්ගේ හැසිරීම් රටා අධ්‍යනය කල යුතුය.  විවිද පාරිසරික තත්ව යටතේ ඊට ආවේනික ලෙස වන ජීවීන් හැසිරෙති. උන්ගේ වාස භූමි ඒ අනුව තෝරා ගනිති.  යාල වනෝද්‍යානයේ  සිටින තරමක් දිවියන් අපිට සිංහරාජයෙන් වාර්තා නොවේ.  දිවියන් ඡායාරූපයට නැගීමට නම් යා යුතු වඩාත්ම සුදුසු තැන වන්නේ යාලය.  ලංකාවේ විශාලම වනෝද්‍යානය විල්පත්තුය. එහෙත් පසුගිය කාලයේ පැවති දරුණු යුද්ධයත් සමග මෙහි සිටි බොහෝ වන ජීවීන් විල්පත්තුව මගහැර සිටියේය. මේ හේතුව නිසා විල්පත්තුවට වඩා යාල දිවි ගහනය වැඩිය.  සංඛ්‍යා ලේඛන අනුව යාල එක් වර්ග කිලෝමීටරයකට එක දිවියෙක් දැක ගත හැකිය.  මේ ආකාරයට විවධ වන සතුන්ට විශේෂ වූ වාස භූමි උන් තමන්ගේ නිජබිම් කරගෙන වාසය කරයි.  අලින්ගේ ඡායාරූප ගැනීමට යාල යාමට වඩා උඩවලවට යාම වටී. ඊට හේතුව යාලට වඩා අලි ගහනය උඩවලව වනෝද්‍යානයේ වැඩිවීමයි.  මින්නේරියද අලින්ගේ එකතු වීම් වලට ප්‍රසිද්ධය.  මීට පාරිසරික හේතු බලපායි.  අගෝස්තු හා සැප්තැම්බර් යන මාස වල කුඩා වැවු වල ජලය හිඳී යන අතර බොහෝවිට වතුර ඉතුරු වන්නේ මින්නේරිය ජලාශය පමනි. මේ හේතුවෙන් අනෙක් වනෝද්‍යාන වල වාසය කරන අලින් මින්නේරිය ජලාශ වටා එකතුවේ. මෙකී පාරිසරික තත්ව ගැන අවබෝධයෙන් සිටීම වනජීවී ඡායාරූප ශිල්පියෙකුට ඉතා වැදගත් වේ.  



Wednesday, March 28, 2012

මා ඡායාරූපකරණයට අත ගැසූ සැටි....

1995 රිකෝ II ෆිල්ම් කැමරාවකින් මම මගේ ඡායරූපකරණයට  අත ගැසූයේ අවුරුදු කීපයක් තිස්සේ එකතු කරගත් සියළුම ධනය එක මොහොතකින් වියදම් කරමිනි. රුපියල් 22,000 කට ලබා ගත් කැමරාවට පසුව තව තව උපාංග ටිකක් එකතු කර ගනිමින් මම ඡයාරූපකරණයේ නව මං පෙත් එලි පෙහෙළි  කර ගැනීමට උත්සුක වූයෙමි.  දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප තුලින් කමටහන් ලබා ගනිමින් හා ලැබෙන සෑම පත පොතක්ම කියවමින් මම මේ දුර ගෙවන්නට යත්න දැරූවෙමි.  ඡායරූපකරණය හුදෙක් මාගේ විනෝදාංශය හා වියවුල් මා මනසට මෙය තවත් එක් භාවනාවකි.  කාලය ලැබෙන සෑම  අවස්ථාවකම  මම මේ භාවනාවට සම වදිමි.


වර්ෂ 2000 දී ෆිල්ම් කැමරාවට සමු දී මම ඩිජිටල් Point and Shoot කැමරාවකට අත ගැසූවෙමි. එහෙත් ගුනාත්මක ඡයාරූප ගැනීමට හා මාගේ පරාසයන් පුළුල් කර ගැනීමට එයින් එතරම් දායකත්වයක් නොලබූයෙන් මට DSLR කැමරාවක අවෂ්‍යතාවය තදින්ම දැනෙන්නට විය. 2004 දෙසැම්බරයේදී කාර්යාලීය අවශ්‍යතාවයක් උදෙසා රාජකාරී මට්ටමින් සිංගප්පූරුවට යාමට ලැබුනු අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් හා එම සංචාරයට කාර්යාලයෙන් ලැබුනු අරමුදල් බොහෝම දුකසේ ඉතුරු කරගනිමින් තිබුන එකම ක්‍රෙඩිට් කාඩ් පතේ සියළුම පහසුකම් භාවිතා කරමින් Nikon D70s කැමරාවක් මා මගේම කර ගත්තෙමි.

මාස්පතා ලැබුනු පඩිය මෙම විනෝදාංශයට කිසිම දායකත්වයක් දුන්නේ නැත. පංති කර ලැබෙන මුදලින් කොටසක් මම දැඩි ලෙස පීඩා විඳිමින් හා මිරිකෙමින් ඉතුරු කරන්නට පෙරුම් පිරූයෙමි.  නිතර දෙවේලේ අන්තර්ජාලය හරහා උපාංග හා මෙවලම් බලමින් ඒවා ලබා ගන්නට සිහින දකිමින් මම කාලය ගත කලෙමි. ඒ වගේම ඒ සිහින සැබෑ කරගන්න මම නිරතුරුව උත්සාහ කලෙමි.  ටිකින් ටික, එකින් එක, මා මගේ මෙවලම් එකතු කලෙමි. කැමරා, ලෙන්සස්, ෆ්ලෑශර්ස්, ට්‍රයි  ෆොඩ්ස්, මෙකී නොකී හැම දේම නිතර දෙවේලේ මගේ මනස තුල භ්‍රමනය වන්නට විය. උන සන්නියකට හැරී අතිශය උත්සන්න වූ තත්වයක් තුල මට මේ හැම දේම අත පත ගා බැලීමේ  අවශ්‍යතාවය  තදින්ම දැනෙනට විය. ඇති උන්ගෙන් ඉල්ලූ කල අතිජාත මිත්‍රයන් වුවද විවිධ හේතු කියා මග හරින අවස්ථා අනන්තය අප්‍රමාණය.  දුක හිතේ පුරෝගෙන මම මේ හැම  අවස්ථාවකම දහිරිය උපදවා ගත්තෙමි.  යම් දවසක කෙසේ හෝ මේ සියළුම දේ මම ගන්නෙමියි යන ඒකායන ප්‍රාර්ථනයේ ඇනය මම මගේ හිස තුලටම ගසා ගත්තෙමි. ඒ ඇනයේ ආනුභාවයෙන් අද මම ඡායාරූපකරනයට අවශ්‍යව ඇති නවීණතම  උපාංග  වලට හිමිකම් කියන වාසනාවන්තයෙක්මි.

කැමරාවන් ලෙස Nikon D200, D7000 කැමරා දෙකද, Nikon 105mm f2.8 Macro, 85mm f1.8D, 50mm f1.4G, 18-105 Zoom, Sigma 300-800mm f5.6 යන ලෙන්ස් වර්ගද, ෆ්ලෑශ්‍ර්ස් ලෙස මැක්‍රෝ සඳහා Nikon R1C1 Close Up Lightning Kit එකද, SB800 ෆ්ලෑෂරයද,  ට්‍රයි  ෆෝඩ්  එක ලෙස Gitzo 5 series කාර්බන් ෆයිබර් ට්‍රයි ෆෝඩයද Whemberly II හෙඩ් එකද, LowPro Pro Tracker AV II කැමරා බෑගයද අද මා සතුව ඇත.

මේ සියළු  කරුණු කාරණා මෙසේ සඳහන් කලේ උජාරුව කියා පෑමටවත්, පුරාජේරුවටත් නොවන බව මා අවංකවම සඳහන් කරමි.  මා මෙන්ම උපාංග ලබා ගැනීමට අනේක දුක්ඛ දෝමනස්සයන්ට මුහුන දෙන තවත් පරම්පරාවක් මා පිටුපස සිටින බව මා දනිමි.  මා සතු උපාංග දකින අළුතින් ඡායරූපකරණයට නැඹුරු වූ බොහෝ දෙනා මා හා පැවසූයේ මේවා හීන වගේය යන්නය.

නිබඳවම මා ඒ හැම කෙනෙකුටම පවසන්නේ ඒ හීන වලට සීමා නොවී උත්සහයෙන් යුතුව ඉදිරියටම යන ලෙසය. මට වඩා දුර ගමනක් ඔවුනට යා හැකි බව මගේ විශ්වාසයයි.

" උත්සාහය උක් දන්ඩක් වැන්නේ
  වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ....."

ඡායාරූපද සමගින් මෙම  මෙවලම්  ඔබට මෙතනින් බලා ගත හැක.  

මෙම ලින්ක් එක කොපි කර ඔබගේ  බ්‍රවුසරයේ ලින්ක් සඳහන් කරන බාර් එකේ පේස්ට් කිරීම මගින් බලා ගත හැක.


http://www.facebook.com/media/set/?set=a.10150626540097947.390470.664642946&type=3

ඡායාරූප ශිල්පියා යනු....


කැමරාවක් අතේ තිබුනු පලියට කෙනෙකු ඡායාරූප ශිල්පියෙකු වන්නේ නැත.  ඡායාරූප ශිල්පය හදෑරූ පමනින්ද කෙනෙකු ඡායාරූප ශිල්පියෙකු වනෙනේ නැත.  කැමරාවක් ගෙන හිතුන හිතුන දෑ ෆොටෝ ගැනීමෙන්ද ඡායාරූප ශිල්පියෙකු විය නොහැක.  ඡායාරූප ශිල්පියාට මනා හික්මීමක් තිබිය යුතුය.  ඉතා හොඳ ඉවසීමක් තිබිය යුතුය.  සාමාන්‍ය කෙනෙකු බලන කෝනයට වඩා පුළුල් හා වෙනස්  කෝණයකින් බලන කෙනෙකු විය යුතුය.  මේ කෝණය ඡායාරූප ශිල්පියාගේ අනන්‍යතාවයය.  එම කෝණයේ දැක්ම ඡායාරූපයේ වස්තු බීජයට සියලු අර්ථ කථන සැපයිය යුතුය. සාර්ථක ඡායාරූපයකින් සම්පූර්ණ කථාවක් දැනිය යුතු වන්නේය.    එය චිත්‍රපටියක් බැලුවට වඩා හිතට කා වැදිය යුතුයි.  ඡායාරූප ශිල්පියා අනිවාර්යයෙන්ම ඉවසීමෙන් හා ශික්ෂණයෙන් යුතු, මනා සංයමයකින් යුතුව, නිවැරදි කෝණය හදුනා ගතයුතු, සාමාන්‍ය මනුස්සයෙක් සිතන මට්ටමට වඩා ඉහලින් සිතිය හැකි පිවිතුරු හදවතකින් යුක්ත, සාධාරණ කෙනෙක් විය යුතුයි.  අනිවාර්යයෙන්ම කුහක කමින් තොර විය යුතුමයි.